විෂාදය

ඔබට මානසික අවපීඩන තත්වයේ රෝගී ලක්ෂණ සති දෙකකට වඩා වැඩි කාලයක් තුල, සෑම දවසකදීම, දවසේ වැඩි කාලයක් තුලදී දැනේ නම් ඔබ ඔබගේ වෛද්‍යවරයා හමුවී උපකාර පැතිය යුතුය.ඔබට පහත සඳහන් ලක්ෂණ පවතී නම් ඔබගේ වෛද්‍යවරයා හමුවීම අතිශයින් වැදගත් වේ.

  • ඔබට මානසික අවපීඩන තත්වයේ රෝගී ලක්ෂණ පවතී නම් හා ඒවා හොඳ තත්වයට පත් නොවේ නම්,
  • ඔබගේ මානසික තත්වය නිසා, ඔබගේ රැකියා ස්ථානයේ කටයුතු වලට, ඔබගේ අනෙකුත් කටයුතු වලට හෝ ඔබගේ පවුල් හිතමිතුරු සබඳතා වලට බලපෑම් ඇති වන්නේ නම්,
  • ඔබට සිය දිවි හානි කර ගැනීමට හෝ වෙනත් හානි සිදුකරගැනීමට සිතුවිලි ඇති වන්නේ නම්,

සමහරවිට, ඔබ මානසික අවපීඩන තත්වයෙන් පෙලෙන විට, ප්‍රතිකාර මගින් සැබැවින්ම සුවයක් ලබා ගත හැකිබව විශ්වාස කිරීමට අපහසු විය හැකිය. නමුත් ඔබ ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු වන තරමට, ඔබගේ මානසික අවපීඩන තත්වයට ඉක්මන් සුවයක් ලඟා කර ගත හැකිය. මානසික අවපීඩන තත්වය පරීක්ෂා කිරීමට භෞතික පරීක්ෂණ නැත. නමුත්, ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබව පරීක්ෂා කොට, යම් මුත්‍රා පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණ කිහිපයක් සිදු කරනු ඇත. එසේ කරන්නේ මෙයටම සමාන රෝග ලක්ෂණ පවතින අඩු ක්‍රියාකාරී තයිරොයිඩ වැනි අනෙකුත් රෝගී තත්වයක් නොවන බවට තහවුරු කර ගැනීමටය. ඔබගේ සාමාන්‍ය සෞඛය තත්වය පිලිබඳව ගැඹුරින් විමසීමෙන් සහ ඔබගේ සිතුවිලි ඔබට මානසිකව සහ කායිකව බලපාන ආකාරය පිලිබඳව විමසීම මගින් ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබට මානසික අවපීඩන තත්වයක් පවතීදැයි නිගමනය කරනු ඇත. ඔබ ඔබට හැකි උපරිමයෙන් විවෘතව සහ අවංකව පිලිතුරු දීමට උත්සාහ කල යුතුය. ඔබගේ රෝගී ලක්ෂණ සහ ඒවා ඔබට බලපාන ආකාරය පලිබඳව හොඳින් විස්තර කිරීමෙන්, ඔබට මානසික අවපීඩන තත්වයක් ඇත්ද යන්න සහ එහි ස්වභාවය කෙබඳුද යන්න පිලිබඳව ඔබගේ වෛද්‍යවරයා ට නිගමනය කිරීමට පහසු වනු ඇත. ඔබ ඔබගේ වෛද්‍යවරයා සමග පවත්වන සියලු සාකච්ඡා රහසිගතව පවතිනු ඇත. මෙම නීතිය අවලංගු වන්නේ, ඔබගේ මානසික අවපීඩන තත්වය නිසා ඔබට හෝ අන් අයට සැලකිය යුතු අන්දමේ අනතුරක් සිදුවීමට අවදානමක් පවතී නම් හෝ පවුලේ අයෙකුට හෝ හිතවතෙකුට දැන්වීම මගින් එම අවධානම අවම කර ගැනීමට හැකියාවක් පවතී නම් පමණි.